kavisithakasiththam" />

Select Poems in Sinhala

This is a selection of Sinhala poems I have written over the years. You can find a more extensive collection at the Instagram page kavisithakasiththam

රෝමියෝ

රෝමියෝ, ඇස්වලට ප්‍රේම කළ නොහැකි බව
ආදරේ නීති පොත් බොහොමයක දුටිමි
ඒ වුණත් නුඹේ නෙත ගැටෙන එක ඇසිල්ලක
ලෝකයම කෝපි පැහැ නෙත් අතර දකිමි
අකීකරු කෙස් ⁣රොදක් නළල් තල සිඹින විට
ප්‍රේමයේ මල් කිනිති පිපෙන’යුරු විඳිමි
නොහිතාම කොපුල් මත සතපවන හාදු ගෙන
ස්නේහයේ පිණි පොකුරු ඒ මතින් තබමි

රෝමියෝ, ජීවිතය මහ හුඟක් බරැති බව
රැළි ගැසුණු ගිම්හාන නළල් මත දුටිමි
මෝසමේ පවා නුඹෙ උණුසුමම දැනෙන විට
සේද සමනල් හැඟුම පමණක්ම විඳිමි
හිම තුහින සිසිලසෙත් වසන්තය නුදුරු වග
සුපුල් තරු එළිය රැඳි සිනහවක දකිමි
අනත්තය පවා මුදු වදනකට නතුව විත්
දෙපා මුල සලන සුදු රෝස පෙති ගණිමි

රෝමියෝ, ප්‍රේමයට බොහෝ ඉම් තිබෙන බව
හුඟක් පෙම් පසුවදන් පිටු අතර දුටිමි
⁣⁣ඒ වුණත් නුඹේ එක දුල් දෙනෙත් කැල්මකින්
නබෝ ගැබ සරන්නට පියාපත් ලබමි
ප්‍රේමයේ පිවිතුරුම, විසිතුරුම හැඟුම් ගෙන
නුඹේ පපුතුරේ මුදු සිතුවමක් මවමි
ජීවිතේ ඉඳු සිහින සතපවා දෙඅත් මත
ක්ෂණයකින් හෘදයම නුඹ නමට ලියමි


එසිරිලක් පුර

අසිරිමත් වූ එසිරිලක් පුර අබුද්දස්සම කලක් ආවා
පාට ඇති වෙස් මූණු බැඳගත් දනෝ නෙක රූ රැඟුම් පෑවා
උගත් නූගත් දුගී පෝසත් ජාති භේදත් පසෙක ලෑවා
දෙදහසක් වස් තෙදින් වැජඹී තෝරලා දුන් ලණුව කෑවා

මෙතෙක් කල් ඇස් කන් පියාගෙන නිදාගෙන උන් හඳේ හාවා
දුන්නු පාටක් හිසේ ලාගෙන ආයුබෝ ලක් මෑණි කීවා
පාට සළු පිළි පෙරෝගත් උන් වාසි පැත්තට හුරේ ලෑවා
උන්ගෙ පාමුල ඉහඳ පණුවන් පණත් දීගෙන කුලල් කෑවා

දෙසිය විසි පහ එපා කී උන් උන්ම තෝරන් හුණුත් ගෑවා
දෑස් අඳ වුණු දරු පැටවු දැක සිතින් ලක් මව සුසුම් ලෑවා
ජාතියේ පෙර පිනට ඉපදුණු තුන් තිසට තුම් ආයු බෝවා
දහස් ගණනින් අපේක්ෂකයින් මෙපින්බිම මත පහළ වේවා


කන්නගී

කන්නගී මගෙ හීනයත් මේ ළඟදි දවසක කුඩු වුණා
තනේ නොව හදවතම උදුරා මාත් අහකට විසි කරා
පඬිපුරේ කෙස් ගහක් පාසා එදා ගින්නෙන් පිච්චුණා
මාධවී විතරක්ම නොසැලී ඔච්චමට වගෙ හිනැහුණා

කෝවලන් හමුවෙන්න කලියෙන් ඇගේ හිත අරගත් කෙනා
ඈව හැරදා ගිය දිනේ සිට ඈ ගලක් බව කියැවුණා
අපි වගේ උදුරා නොදා හිත පපුවෙ හංගන් උන් නිසා
ඇගේ හදවත පිලිස්සුණු බව පස්සෙ දවසක හෙළි වුණා


එක් කවක්

එකෝමත් එක කාලෙකට පෙර
හොඳටෝම හද රිදුණ හවසක
සියුම් පිහි තුඩකින් පලා හද
ගලා යන්නට දුනිමි රුධිරය

රිදුම් සුව වී කලක් ගිය පසු
කෙනෙක් ඇවිදින් කියා ගිය සඳ
ඒ ගැලූ රුධිරය හෙලූ තැන
ලියා තිබුණලු කවක් සුන්දර


මතක මං පෙතග

මතක මං පෙතග - මහ විසල් නුග සෙවණ යට
තරු දෙනෙත් යුවතියක හිඳගති

බොහෝ කලෙකට ඉහත බොහොමයක් සැඳෑ වල
කිලිටි සුදු වතත්, හිසකෙසත් නොතකා ඔහේ
වියලි නුග පත් මතින් ඉගිල යන එන අතර
නුබ ගැබට සිනාසෙන තරු දෙනෙත් දැරිවියක
ඉපැරණිම නුග පතට සිහි වුණි

කුඩා අතැඟිලි තදින් පටලවා සිනාසුණ
හිත මිතුරු සිත් පෙළක් මුණ ගැසුණු දිනවලට
එකින් එක තාරකා පෙළට දැල්වුණු අරුම
සිහි ව එක් නුග මුලක් හිනැහුණි

ඈත තරු එළි දිලෙන අහස ඇයටයි සිතා
පුරහඳට කවි ලියූ මුදු සිතැති කිවිඳියක
සිහින් ස්වරයෙන් කියූ රහස් හොරැහින් අැසූ
නුග පතක් යන්තමින් රතු වුණි

හැඟුම් ගිලිහුණු දෙනෙත් යොමා හිස් අහස වෙත
හෙමි හෙමින් ඇවිද ගිය නව යොවුන් යුවතියක
මිලින නෙතගින් සැලුණු පිණි දියෙන් උපත ලද
ළදලු පොකුරක් - මදනලට කී කතාබස්
මොහොතකට අතරමග නැවතුණි

තුරින් තුර මල් පිපෙන වසත් සමයෙහි දිනෙක
නුග තුරග කුසුම් නොපිපෙන සොවින් මිලින නෙතු
ඉදුණු නුග ඵල සොයන කුරුලු තුඩු දුටු සැණින්
අසනි වැසි දියෙන් සේදී නැගුණු මුදු ඔපය
දුටු ගැඹුරු මුල සෙමින් විහිදුණි

එකින් එක තරු පොකුරු පිපෙන දුල් සැඳෑවක
වියලි නුග පත් මතින් ඇවිද යන එන අතර
මුවග විලිකුන් සිනහ මතින් දෙනෙතග රැඳුණු
පැහැය යම්තමින් දුටු නව යොවුන් නුග ඵලක්
ඉඟියකින් මදනලෙහි දැවටුණි

මතක මං පෙතග - මහ විසල් නුග සෙවණ යට
තරු දෙනෙත් යුවතියක හිඳගති
එමග පෙර නොදුටු මුත් හුරු පුරුදු බව දැනුණ
මුවග හසකැනක් රැඳි හිරු දෙනෙත් තරු⁣ණයෙකු
ඇගෙ හිතත්, අතත් පටලාගති


සමිඳුනි බෝ!

බොහොමයක් ගව් දුර ⁣ගෙවාගෙන
ආවෙ බැතියෙන් පුරෝගෙන හිත
උතුම් සිරිමා බෝ සමිඳු වැඳ
පිනක් දහමක් පු⁣රෝගන්නට
සමිඳු රැකි රන් වැ⁣ටෙන් පාමුල
බෝඩ් පුරවා පඬි වදන් ඇත
“‘කිල්ල’ හැදෙනා නිසා මාසෙට
ගෑණු යන්නට එපා උඩහට!”
මහාමායා දේවි එදවස
කුසට වැඩි කල සත් සිහින දැක
අෑට කිල්ලක් තිබ්බෙ නැත්නම්
බෝසතුන් බුදු වෙන්නෙ කොහොමද
ප්‍රජාපතියගෙ තුරුල්ලෙම හිඳ
තනේ එල්ලී කිරි උරනකොට
අනේ කිල්ලක් තිබුණ දවසක්
හම්බෙලාවත් නැද්ද එතකොට
තිලෝ අග වී ඇයව දුටු දින
සසර පෙම් බැඳි යශෝ දේවිය
හඬන විටදී සිරි පතුල් සිඹ
කිල්ල කවදද කියා ඇහුවද
නිවන් යන දා ප්‍රජාපතියගෙ
පසුපසින් පසු ගමන් කළ දින
කිල්ල තාමත් තියෙනවාදැයි
කියා රහසෙම හොයා බැලුවද
තෙරණි සඟමිත් වුණත් එදවස
දරා දෝතින් උතුම් බෝ රුක
වඩම්මන් ආ මාස ගාණට
ඈට කිල්ලක් තිබ්⁣බෙ නෑමද
යොමා සිසිලැති කුළුණු බුදු නෙත
අනේ හිමියනි, වදාරනු මැන
ගැහැණු බුදු හිමි නොදුටු යුතු බව
දහම් පොත්වල තිබ්බෙ කොතැනද?


මවුනි මායා

උදා හිරු රැස් වැවේ නිල මත
මැවූ රන්වන් සිතුවමයි ඇය
සමිඳු පා සිඹ හමන මදනල
රැඳුණු පොළොවෙහි රැජිනියයි ඇය
දිනා දින දින නුවර පුරවර
හදින් හද රැඳි කිතු ගොසයි ඇය
දහස් දූවරු බැතින් නමදින
මියුරු මායා මෑණියයි ඇය

සැදී ලා දම් සේද සළුවෙන්
රොබරෝසි වැසි හැලෙන කාලෙට
රඳා රන්වන් ඇහැළ අබරණ
පා තබා මල් රඟන තාලෙට
උදා හිරු තෙද - සඳේ සිසිලස
රඳා තුරුලෙහි, සොයන්නිය ඇය
මැයි මලේ රත රැගෙන හොරැහින්
ඇගේ දූවරු නගන මදහස

ඔවා මිණි දම් - පොවා යහ ගුණ
සිප් නැණින් ලොව දිනන මාවත
මවා දිවිමග දිනන දා අප
පුරා අබිමන් තුටු කඳුළු නෙත
ලොවට අණබෙර නොලා කී මුත්
රඳා හද ඇගෙ උතුම් සෙනෙහස
අපේ අබිමන් මලක් මෙන් ගෙන
ඇගේ හිස මත හොවන්නිය ඇය

සදා ඉන්නට වරම් නැති මුත්
ඇගේ තුරුලෙහි බැති සුවඳ විඳ
ලොවේ අපමණ රන් කිරුළු ලැබ
රැඳී වැජඹෙන මතු දිනෙක වුව
සිතින් යළි සුදු රැලි ගවුම හැඳ
සදා තුරුලෙහි රැඳී නවතින
ඇගේ සෙනෙහෙන් සදා නොමිදෙන
මවුනි, මායා දියණියයි මම


වීසි දැල්

වීසි දැල් කරදිය හුළං වල එති එතී සරදම් කරද්දී
හොරෙන් පිහදන උඹේ කඳුළක් ඇඳින්නැකි ඇස් වහන් ඉද්දී
පින් නොවේ පව් කරොත් කාටත් වැහෙනවලු දොර නිවන් යද්දී
පොතේ පාඩම් අතර තිබුණලු පව් පිරෙන බව මස් මරද්දී

මාත් ඉස්සර උඹ වගේ බං පොඩි දොහේ ඉස්කෝලෙ යද්දී
අකුරු ගැනමයි හිතුවෙ නිතරම දැලේ මාලුවො උඩ පනිද්දී
පිළී කොරපොතු නැතිම ලෝකෙක රජෙකු වෙන හීනය මැවෙද්දී
චක්ක⁣රේ කොච්චරක් ලේසිද ජීවිතේ දුර රස දැනෙද්දී

හිතන තරමින් ලේසි නෑ බං පතාගෙන ආ දුක තියෙද්දී
ගුණේ අයියගෙ මන්න පහරින් තාත්තා මග පණ අදිද්දී
ගැහුණ හැටි ඇඟ මාලුවෙක් වගෙ ලේ විලක් මැද වැටිල ඉද්දී
වයස දොළහයි දවස මතකයි අන්තිමට ඉස්කෝලෙ යද්දී

තුන් මහේ දානෙටත් ඉස්සර ලෙඩ ඇඳට අම්මත් වැටෙද්දී
අනේ අක්කත් බඩ වුණා බං යන්තමින් දා හත පිරෙද්දී
තාත්තෙක් නැති පොඩි එකත් කිරි ඉල්ලගෙන කෑ මොර තබද්දී
පවත් හරි හිස් වචනයක් බං අම්මලා රෑ කඳුලු බොද්දී

සන්තකේටම තිබුණ ඔරුවේ මුහුද එක්කන් පොර බදද්දී
තාත්තවමයි සිහි වුණේ පොඩි මාලු වැල්ලේ පණ ගැහෙද්දී
ජීවිතේ කලු සුදු කොහෙද බං ඉරත් අළු පාටින් පෙනෙද්දී
අපිත් මාලුවො වගේමයි ඉරණමේ දැල්වල පටලැවෙද්දී

තාම මතකයි වින්ද දුක් කඳ උඹේ අම්මා උඹ ලැබෙද්දී
එදා ඉඳලයි හිතා ගත්තේ රජ කරන්නට උඹ වැඩෙද්දී
ජීවිතේ මග දිය වුණා බං හීන දිය රැල්ලට බිඳෙද්දී
පව් පිරෙද්දෙන් බලන් ඉන්නම් පුතේ මං උඹ නිවන් යද්දී